අපගේ දැක්ම

“යහපාලනයෙන් හා තිරසාර සංවර්ධනයෙන් දිවයිනේ ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බවට පත්වීම.”

අපගේ මෙහෙවර

“රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.”

හරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඓතිහාසික කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ බටහිර හා වයඹ දෙසට පිහිටි හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,මෙම දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය අතුරින් එකක් ලෙස හදුන්වා දිය හැකිය. උතුරු දෙසින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද, ඊශාන දෙසින් පිඟාඔයෙන්ද, ගිනිකොණ දෙසින් ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද, නිරිත දෙසින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා වයඹ දෙසින් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද වටවී ඇති මෙහි මුළු භූමි ප්‍රමාණ‍ය වර්ග කිලෝමීටර් 59.04 කි.

හාරිස්පත්තුව ප්‍රදේශය සාමන්‍ය සානුවක ස්වභාවයක් ගනී.ඒ කෙසේ වුවත් තැනින් තැන කුඩා කඳුගැට දක්නට ලැබෙන අතර වර්ෂය මුළුල්ලේම නිරිත දිගින් හා අන්තර් මෝසම් මඟින් ප්‍රදේශයට වර්ෂාව ලැබේ. ප්‍රදේශයේ ශාඛීය ජලවහන රටාවක් දක්නට ලැබේ.කුඩා නිම්න රාශියක් දක්නට ලැබෙන අතර එම නිම්න ඔස්සේ ජලය ප්‍රදේශය පුරා ගලා බැස මහවැලි ගඟට සම්බන්ධ වේ.

ප්‍රදේශය තුළ විවිධ වර්ගයේ පස් වර්ග දක්නට ලැබේ.ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන පස් වර්ගය වනුයේ රතු දුඹුරු ලැටරයිට් පසය. සමස්තයක් ලෙස ප්‍රදේශයේ සාරවත් පසක් ඇති අතර සුළු අපනයන භෝග වගාවන්ට එය යෝග්‍ය  වේ.නිරන්තරයෙන් පසේ තෙතමනය ඇති නිසා ශාකවල මනා වර්ධනයක් දක්නට ලැබේ.

මෙහි ග්‍රාම නිලධාරී වසම් 84 ක් පවතින අතර මුළු ජනගහණය 101739 කි. ස්ත්‍රී ජනගහනය 52624 වන අතර, පුර්ෂ ජනගහනය 49115 කි. බහුතරය සිංහල වන අතර, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජතීන් වලට අයත් පවුල්ද මෙම කොට්ඨාසය තුළ ජීවත් වේ. ප්‍රධාන ආර්ථික කටයුත්ත කෘෂිකර්මය වේ. එමෙන්ම, මහනුවර සහ කටුගස්තොට නගරවලට ආසන්න වීමත්, මහනුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගය මධ්‍යයෙන් ගමන් කිරීමත් නිසාත්, හරිස්පත්තුව අර්ධ නාගරික ස්වභාවයක් ද ලබා ගෙන ඇත. ප්‍රධාන වාණිජ බෝග ලෙස කරාබුනූ, සූදුරු, ගමිරිස් සහ අනෙකුත් කුඩා අපනයන බෝග වගා කරයි. කර්මාන්තමය කටයුත්තක් විශේෂිතව මෙහි නොපවතී. එබැවින් මෙම ප්‍රදේශය ස්වභාවික ලස්සනකින් පිරුණු, මෘදු දේශගුණයකින් යුත්, සම්පත් රැසකින් සමන්විත, ග්‍රමීය ජනගහණයකින් යුත් ප්‍රදේශයකි.‍

ඓතිහාසික තොරතුරු.

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හාරිස්පත්තුව නමින් ප්‍රකට භූමි භාගයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවයන බව ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වේ. හාරිස්පත්තුව යන නම යෙදී ඇත්තේ ද අනුරාධපුර යුගයේ පටන් ‘පාලි බෝධි වංශ ගැටපද විවරණ’ ග්‍රන්තයෙහි එන දුමින්දාගමන කතාව කොටසෙහි දෙව්ගොත් කුමරුට දෙවන පෑතිස් නිරිදුන් විසින් ‘ලක්මහරැටි’ තනතුර දී ගම්වරයක් වශයෙන් චතුසිරිය භූමිය සතරැසි බිම් ප්‍රදානය කලබව දැක්වේ. ඒ අනුව මෙම පෙදෙසට ‘හාරිස්පත්තුව’ නම සෑදුණූ බව ඉතිහාසයේ සදහන් වේ.

තවද හාරිස්පත්තුව ඓතිහාසිකත්වය මනාව පි‍ලිබිඹු කරන ස්ථානයක් ලෙස කටාරංගල විහාරය හැදින්විය හැක. මෙම විහාරය ආරම්භ කර ඇත්තේ පොලොන්නරු යුගයේ හෝ අනුරාධපුර යුගයේ බව විශ්වාස කල හැකිය. මෙය වලගම්බා රජු ආරම්භ කල බවද පොත් පත්වල සදහන් වේ. සො‍ලීන්ගෙන් පලාආ රජු, කාලයක් මෙම ස්ථානයේ සැඟවී සිටි බවද සදහන් වේ. මෙම විහාරයේ රාත්තල් 80ක් පමණ බර දඹ රන් පිළිමයක්ද ඇත. මෙම ප්‍රතිමාවේ ඉතිහාසය බුද්ධ කාලය තෙක් දිව යන්නකි. ප්‍රතිමාව ඉන්දියාවේ නිමවා ඇති අතර බුදුන් පිරිනිවන් පෑ අවස්ථාවේ බුද්ධ ශරිරය තැන්පත් කර තිබු රන් උපයෝගි කර ගෙන මෙවැනි පිළිම 04ක් සාදවා ඇත. ඉන් එක් පිළිමයක් වන මෙය මලියදේව රහතන් වහන්සේ විසින් ලක්දිවට වැඩමවා ඇත. එම කාලයේදි මෙහි ආරක්ෂාවට කටාරංගල රජ මහා විහාරය වෙත එම පිළිමය වඩම්මා ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ.

ඉංග්‍රීසි පාලන සමයේ හාරිස්පත්තුව පාලන කලාප කිහිපයකට බෙදා වෙන් කර තිබු බව සදහන් වේ.එම කලාප නම්,

  • කුළුගම්මන සියපත්තුව
  • මැද සිය පත්තුව
  • ගල සිය පත්තුව
  • උඩගම්පහ
  • පල්ලේගම්පහ

තවද අතීතයේදි හාරිස්පත්තුවට ‘බලවිට’ යන නමද යෙදි තිබු බව ජනප්‍රවාදයේ සදහන් වේ. භටයින්ගෙන් පිරුණු පෙදෙසක් යන්න ඉන් ගම්‍ය වේ. ඒ අනුව හාරිස්පත්තුවේ කලාකාමීන් පමණක් නොව රණකාමින්ගෙන්ද පිරි පෙදෙසක් බව පැහැදිලි වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසම් හා මාර්ග දැක්වෙන සිතියම

 

1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
අනුර විරදිවාකර මයා 1992.08.01 1994.11.30
ටි.පි.ජයරත්න මයා 1994.12.01

1998.08.14

අනෝමා පොල්වත්ත මිය 1998.08.15 2006.01.31
එ.පි.ඩබ්.ආරියවංශ මයා 2006.02.01 2012.08.05
පසන් රත්නායක මයා 2012.08.07 2017.02.19
ජේ.එම්.ජේ.කේ.ජයසුන්දර මයා 2017.04.19 2019.10.18
ආර්.ඩබ්.පී.එම්.ධර්මදාස මයා 2019.10.19 මේ දක්වා

News & Events

Scroll To Top